ජංගම දුරකථනයේ බැටරියෙන් වැඩි කාලයක් වැඩ ගන්නේ මෙහෙමයි

 
ජංගම දුරකථනයේ බැටරියෙන් වැඩි කාලයක් වැඩ ගන්නේ මෙහෙමයි
ජංගම දුරකථනයක් ක‍්‍රියාත්මක වීමට විදුලි බලය සැපයිය යුතුයි. මේ බලය සැපයෙන්නේ දුරකථනයේ ඇති බැටරිය මගිනි. එය නැවත නැවත ආරෝපණය (charge) කළ හැකි ආකාරයේ එකක් නිසා වරක් බැටරිය බැස ගිය පසු නැවත එය චාජ් කර ගත හැකියි. දුරකථනයේ විදුලි ගබඩාව වන බැටරිය දෝෂ සහගත වීමෙන් එය නිසි ලෙස චාජ් නොවීම, ඉතා කෙටි වේලාවකින් බැස යෑම, හදිසියේම දුරකථනය Off වීම ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. ඔබේ ජංගම දුරකථන බැටරිය එක් වරක් චාජ් කිරීමෙන් පසු උපරිම කාලයක් ක‍්‍රියාත්මක කරවීම සඳහා ගත හැකි ක‍්‍රියාමාර්ග මොනවා දැයි අපි දැන් විමසා බලමු.
01 - දුරකථනය භාවිතා නොකරන අවස්ථාවල එය Off කර දමන්න. ඔබේ බැටරිය වැඩි වේලාවක් භාවිතා කිරීම සඳහා මෙය හොඳ උපක‍්‍රමයකි. රාත‍්‍රී නින්දට යන අවස්ථාවේදී හෝ ඔබ කාර්යාලයෙන් ගෙදර පැමිණි පසු වෙනත් අත්‍යාවශ්‍ය හේතුවක් නොමැති නම් ඔබට ඔබේ ජංගම දුරකථනය නිවා (Pff) දැමිය හැකියි. එසේම ඔබ දුරකථන සංඥා රහිත, දුරබැහැර ප‍්‍රදේශයක සිටින්නේ නම් එවිටද ඔබට දුරකථනය නිවා දමා බැටරි බලය ආරක්ෂා කරගත හැකියි. මෙබඳු අවස්ථාවකදී දුරකථනය මගින් නිරන්තරව සංඥා සඳහා විමිසිලිමත් වන නිසා බැටරිය ඉක්මනින් බැස යෑමට ඉඩ ඇත. ඔබට ඔබේ ජංගම දුරකථනයෙන් ඇමතුම් ලබාගැනීමට අවශ්‍ය නැති නම් එහි Setting වලින් "Flight Mode" යන්න සක‍්‍රීය කරගත හැකියි. එවිට සිම්පත සමග ඇති සම්බන්ධතාවය දුරකථනය මගින් අත්හිටවන නිසා දුරකථන සංඥා වෙනුවෙන් වැයවන බැටරි බලය ඉතිරි කරගත හැකියි.

02 - ජංගම දුරකථන සංඥා සඳහා විමසීම නතර කරන්න. ඔබ දැනට සිටිනා ප‍්‍රදේශය ජංගම දුරකථන සංඥා අඩු හෝ රහිත කලාපයක් නම් ඔබේ දුරකථනය විසින් වඩාත් හොඳ සම්බන්ධතාවයක් සඳහා නිරන්තරයෙන්ම සංඥා විමසීම සිදුකරයි. මෙහිදී නිරන්තරයෙන් බැටරි බලය වැයවන නිසා බැටරියේ ක‍්‍රියා කාලය අඩුකරවයි.
03 - ඔබේ ජංගම දුරකථන බැටරිය නිතරම නිසි පරිදි චාජ් කරන්න. මෙහිදී බැටරිය බැස ගිය පසු නැවත චාජ් කිරීමත්, චාජ් කිරීමේදී සම්පූර්ණයෙන් චාජ් වන තුරු තැබීමත් අනිවාර්යය වේ. අඩක් බැස ගිය බැටරියක් චාජ් කරන්න එපා. සැමවිටම බැටරි මීටරයේ අවසන් සලකුණ වන තෙක් බැටරි බලය අඩුවන තුරු සිට එය චාජ් කරන්න. එසේම අඩක් චාජ් වූ බැටරියක් චාජරයෙන් ගලවා භාවිතා කිරීම ද, චාජරය ගලවමින්, සවි කරමින් වරින් වර චාජ් කිරීමද බැටරියට හානිකරය. සැමවිටම බැටරිය සම්පූර්ණයෙන් චාජ් කිරීමත්, බැටරිය බැස ගිය පසු චාජ් කිරීමත් පුරුද්දක් කර ගන්න.

04 - දුරකථනයේ වයිබ්‍රේට් (vibrate) පහසුකම අක‍්‍රිය කරන්න. රින්ග් ටෝන් එක පමණක් භාවිතා කිරීම වඩාත් සුදුසුයි. වයිබ්‍රේට් වීම සඳහා එහි මෝටරය ක‍්‍රියාත්මක විමට වැඩි බැටරි බලයක් අවශ්‍ය වේ. එසේම ඔබේ රින්ග් ටෝන් එකද ඔබට ඇසෙන තරම දක්වා ශබ්දය අඩු කර භාවිතා කරන්න.
05 - දුරකථනයේ පසු- ආලෝකය Backlight(බැක්ලයිට්) Off කර දැමිය හැකි නම් වඩාත් සුදුසුයි. එය අපහසු නම් තිරය දැල්වී තිබෙන වේලාව හැකි තරම් අඩු කාලයකට සකසන්න. මෙමගින් ඔබ දුරකථනය භාවිතා කර අවසාන වූ පසු ඉක්මනින්ම තිරය නිවා දමයි. එසේම ඔබේ තිරයේ දීප්තිය හෙවත් brightness අගය ද ඔබට දැරිය හැකි අඩුම මට්ටමට අඩු කර දමන්න.

06 - ඔබේ දුරකථනයේ බැටරිය අඩක් බැස ගොස් අවසාන නම් සහ ඔබට නැවත ඉක්මනින් එය චාජ් කිරීමේ හැකියාවක් නොමැති නම්, ඔබේ දුරකථනයේ බැටරියේ බලය හැකි උපරිම කාලයක් භාවිතා කිරීමට නම් ඔබ කල්පනාවෙන් වැඩ කළ යුතුයි. මෙබඳු අවස්ථාවදී, අන්තර්ජාලය හා සම්බන්ධ වීම, කැමරාව ක‍්‍රියාත්මක කිරීම, බ්ලූටූත් On කිරීම හෝ ගීත ඇසීම ආදී ක‍්‍රියාකාරකම් හැකිතාක් සීමා කිරීමෙන් ඔබට වැඩි කාලයක් බැටරිය භාවිතා කළ හැකියි.
07 - ඔබත් ඔබේ බැටරි බලය ගැන වඩාත් උනන්දු වන්නේ නම් ඔබට ලැබෙන හා ඔබ ලබාගන්නා දුරකථන ඇමතුම් හි කාලය හැකි තාක් කෙටි කරගන්න. අත්‍යාවශ්‍ය නොවන කාරණා සම්බන්ධයෙන් සිදුවන කථාබහ වලදී ඔබේ බැටරිය බැසයෑමට අමතරව ඔබේ දුරකථන බිලද නිරපරාදේ වැය වනු ඇත. දුරකථන සංවාදයක් අතරතුරදී කිසිවෙකු විසින් ඔහුගේ බැටරිය බැස ඇති බවට සඳහන් කලහොත් කිව යුතු දේ කෙටියෙන් පවසා ඉක්මනින් ඇමතුම අවසන් කිරීම හොඳ දුරකථන ආචාර ධර්මයකි.
08 - භාවිතා කර අවසන් වූ වහාම බ්ලූටූත් සම්බන්ධතාවය අක‍්‍රිය කර දමන්න. ඔබේ බැටරිය කා දමන ප‍්‍රධාන සාධක අතරින් බ්ලූටූත් සම්බන්ධතාවය ද එකකි. එමෙන්ම WIFI, GPS, and infrared යන පහසුකම් ද භාවිතා නොවන අවස්ථා වලදී සැමවිටම අක‍්‍රිය කර තබන්න. අවශ්‍ය වේලාවට පමණක් එම සම්බන්ධතා සක‍්‍රීය කර ගැනීමට පුරුදු වන්න.
09 - 3G මාදිලියට වඩා GSM මාදිලියේදී බැටරි බලය අවශ්‍ය වන්නේ ඉතා අඩුවෙනි. එම නිසා ඔබ 3G භාවිතා කර ඇමතුම් ගන්නවාට වඩා GSM මගින් ඇමතුම් ගැනීම බැටරියට වඩාත් හිතකරයි. දුරකථනයේ සැකසුම් වලින් 3G වෙනුවට GSM යන්න තෝරා දෙන්න. භාවිතා නොකරන සෑම අවස්ථාවකදීම 3G හෝ GPRS හෝ ඔබ සතු අන්තර්ජාල සම්බන්ධතාවය අක‍්‍රීය කර දමන්න.

10 - ඔබේ තිර පසුතලය හෙවත් වෝල්පේපර් එක සඳහා ඇනිමේෂන් පින්තූර හෝ වීඩියෝ යෙදීමෙන් වලකින්න. මේවා මගින් වැඩි විදුලියක් ලබාගනී. සෑම විටම සාමාන්‍ය ඉමේජයක් වෝල්පේපර් සඳහා භාවිතා කරන්න. එසේම ඔබට ඔබේ දුරකථනයේ පසුතලය තනිකළු කළ හැකි නම් එමගින් තිරය සඳහා වැයවන විදුලිය බොහෝ අඩුකරගත හැකියි.
මෙහි අප දක්වා ඇත්තේ එක් බැටරි ආරෝපණයකින් (Charge) පසු වැඩිම කාලයක් බැටරිය භාවිතා කිරීමට අනුගමනය කළ හැකි ක‍්‍රියාමාර්ග මොනවාද යන්නයි. බැටරියේ ආයු කාලය හෙවත් එකම බැටරියෙන් වැඩි කාලයක් දෝෂයකින් තොරව වැඩ ගන්නා ආකාරය ගැන අපි ලබන කලාපයෙන් විමසා බලමු...

Comments

Post a Comment

Popular Posts